කළු සහ සුදු

May 26th, 2011 | Please leave a comment | 3 Comments »

කලු නපුරුයි. කැතයි. බියකරුයි. සුදු ලස්සනයි.
 
නිල් පාට අහස් තලයෙ සුදුම  සුදු වළා කුළු .. කොච්චර ඇස් පිනන දර්ශනයක්ද ? හිතන්න…… සුදු පාට කොකුන් රෑනක් ඉගිල්ලෙනව.
 
කළු වළා කුළු එහෙමද ? කළු වළා කුළු එක් රැස් වෙනව දැක්ක ගමන් මිනිස්සු කලබල වෙනව. වැස්ස.. ඊලඟට ගංවතුර.. පාරවල් යට වෙනව. කඳු නාය යනව. ගංවතුරෙ ගහ ගෙන ආව මළකුණු කන්ට කළුම කළු පාට කපුටො එකතු වෙනව.

තාර කළු පාටයි.. කිරි සුදු පාටයි
රාත්‍රිය කළු පාටයි. බියකරුයි. මං ඉස්සර කොච්චර බයද රෑ වෙන කොට.?
 
යන්තම් පෑනක් පැන්සලක් අල්ලන්න පුළුවන් වයසෙ ඉන්න කුඩා දරුවෙකුට පැස්ටල් පෙට්ටියක් දුන්න ගමන් ගන්නෙ මොන පාටද ? ඒ කළු නං නෙවෙයි.  මොනව හරි කුරුටු ගාල , කළු පාටින් පාට කරල කියයි එයා ඇන්දෙ මොන්ස්ටර් කෙනෙක් කියල.
 
අපේ මස් නහර ඇට මිදුළු වලට කිඳා බැහැල තියෙන්නෙ කළු පාට නරකයි කියල.
කළු පාට මල් දැකල තියෙනවද ? බ්ලැක් රෝස්. කළු පාට රෝස මල් දෙන්නෙ වැන්දඹුවකට. ( මං අහපු කතාවක් )

මනමාලය කළු අඳින්නෙ ඇයි.? මිනිහගෙ නරකම දවස. උසාවියෙ නීතිඥයොත් කළුනෙ අඳින්නෙ.
පුංචි ළමයි  කළු අම්මලාට “සුදු අම්මි ” කියනව. සුදු කියන්නෙ හොඳ.. අපි ඉස්සර කළු කෙල්ලන්ට ලියුම් ලියනවා ” මගේම සුදු වෙත ..” කියල.
 
විරෝධය පාන්නත් කළු පාවිච්චි කරනව.. අතේ කළු පටි බැඳ ගෙන.

මං දැනට ජීවත් වෙන රටේ නීති කඩන්නෙ , වැරදි වැඩ කරන්නෙ වැඩි පුර කළු මිනිස්සු. රස්සාවක් නොකර එක එකාට අත පාල ජීවත් වෙන හොඳට ඇඟ පත තියෙන කළු මිනිස්සු මම ඕන තරම දැකල තියෙනව. කළු මිනිස්සු කම්මැලියි. වැඩක් කරන්නෙ නෑ. ( ඔබාම වගෙ )
 
සුදට සුදේ සුදු රැවුල දිගයි – කවුරු හරි දන්නවද කළු නත්තල් සීයල.
නත්තල් සීය හොඳ කෙනෙක්. එහෙනම් එයා සුද්දෙක් වෙන්නම ඕන.
 
මේ මම කියපු ඒව හැම එකටම සාධාරණ නෑ. නයෝමි කැම්බල් , වැනේසා විලියම්ස්.. ටයිරා බෑන්ක්ස් කොච්චර ලස්සනද ? ඒ කළු ජාතික නිරූපිකාවෝ.

මම මේ අනං මනං  කිව්වෙ.. අද මහ නරක දවසක්. මගෙත් එක්ක අවුරුදු 8 ක් වැඩ කළ කළු ජාතික මිතුරිය  අද මිය ගියා.පිළිකාවකින්. අපි ගොඩාක් කිට්ටු උනා. එහෙම වෙන්න හේතුව එයා ඉපදිල තියෙන්නෙ ලංකාවෙ. එයාගෙ සීය රෝයල් එයා ෆෝස් එකේ.. ජීවත් වෙලා තියෙන්නෙ ත්‍රිකුනාමලයේ. මට කියන්නෙ මිස්ටර් ශ්‍රී කියල.

ඇයගේ ආත්මයට සැනසීමක් ලැබේවා.

 
 
 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

ඉලංදාරියෝ… මං උඹට ණයයි

May 19th, 2011 | Please leave a comment | 1 Comment »

මට මතකයි
ලොකු හා හූවක් ගියා
මාස කීපයකට ඉස්සර
දුකා එහෙම සල්ලි එකතු කළා මොනවටද
උඹට
දුන්නෙ නෑ කීයක්වත් මං
උඹ කවුරු වගේද
උඹ කොහෙද ඉන්නෙ
උඹට මොකද වෙලා තියෙන්නෙ
කියල දැන ගන්න
උඹේ බ්ලොගය අරින හැම වෙලාවෙම
මගෙ කොම්පියුටරේ හිර වෙනව
ඇරගන්න බැරි උනා උඹෙ බ්ලොගය
මෙහෙම වෙන්න ඇති
අඩු ගානෙ දහ දොළොස් වතාවක්
ඒ නිසා ඒක එහෙම පිටින්ම යට ගියා

උඹ හොඳ එකෙක් වෙන්න ඇති
ඒකනේ හැමෝගෙම උනු වුනේ
හොඳ තැනක ඉපදියං
නිවන් දකින්න එපා දැම්ම
මං එන තුරා හිටපං
මං උඹට ණයයි

දොදොල්

May 12th, 2011 | Please leave a comment | 9 Comments »

එකොලොස් වන පංතියේ සිටියදී මම ඉතා විශාල සපත්තු පාරකට ලක්විය. හෙවත් බූට් පාරක් කෑමට සිදු විය. කිසියම් හේතුවක් කරන කොට ගෙන මා පෙම් බැඳි ලලනාව මගේම මිතුරෙකු හා හාද විය.

මගේ නරකම දසාව ලැබූයේ ඉන් ඉක්බිතිවය.

බඩු වැටෙන්නේ ඇති එකාටමය. මා දිහා කිසිම කෙල්ලක් නොබලයි. කෙලි පොඩිත්තියකගේ ඇසුර අවශ්‍යම කාලයේ මට සිදුවූ දෙය වනේ වන හතුරෙකුටවත් නොවෙවා !

උසස් පෙළ හැදෑරීම සඳහ වෙනත් පිට පාසලකින් විජිතා නම් මගේ ගැලවුම්කාරිය පැමිණියේ මේ කාලයේය.
ඇයගේ දත් දෙපේලිය හැරුනු කොට සමස්ත ශරීරයම කට්ට කළු පාටය.
එහෙත් ඇය නිර්මාණය කල දෙවියන් වහන්සේ ඇයට එතරම නපුරු වී නැත.
සිත් ඇද ගන්නා කතා විලාශයකුත් , කන් පිනවන අපූරු කට හඬකුත් ඇයට ලබා දී තිබින.
එවකට තනිකඩව සිටි එකම කොල්ලෙක් වත් ඈ දෙස නොබැලූ අතර ඇගේ වටිනාකම හඳුනා ගත්තේ මා පමණය.

ඇය කතා කළේ ටික් කාක් ක් විතර .. චූට්… ට.. ක් විතර ඇද පැදය. “ඌයිය.. රිදෙනවායියො”

” අද හවස පරක්කු වෙන්න බෑයියො”

වාරාවසාන විවිධ ප්‍රසංගයේදි මියුසික් කිසිම දෙයක් නැතිව, ඇය නන්දා මාලිනියගේ ” උඩඟු ලියන් ගොතා බඳින” ගීය ගායනා කළ ආකාරය හැමගේ ප්‍රසාදයට හේතු වීය. එසේම එය ඇයට නව මිතුරන් සොයා යාමටද අවස්තාවක් විය. එහෙත් ඇය මා අමතක කළේ නැත.

අප දෙදෙනා පුස්තකාලයේදී හෝ, බස් නැවතුමේදී එකට සිටිනු දුටු විට බොහෝ කොල්ලන් අපට කොලොප්පම් කළහ. අපට ” කිරි කෝපි” යැයි කීහ. එහෙත් එය කිට්ටු මිතුරු ඇසුරක්ම මිස ප්‍රේම සම්බන්ධයක් වූයේ නැත.

” දොදොල් කළු උනාට පැනි රහයි නේ” අපට කොලොප්පම් කළ වුන්ට මම කීවෙමි.

අද කතාව කිරි කෝපි ගැනවත් , විජිතා ගැනවත් නොවේය. කළු දොදොල් ගැනය.

මීට මාස කීපයකට පෙර මට මැලේසියාවේදී ඩොඩොල් දැකිය හැකි විය.
මම ඒ අපේ දොදොල් යැයි අනුමාන කොට කීපයක් මිළයට ගත්තෙමි. වෙළඳ සේවිකාව මට ඕනෑ කරන්නේ , කොකනට් ඩොඩොල් ද? දූරියන් ඩොඩොල්දැයි ඇසීය.
චිහ්.. ඩූරියන් දොදොල් ? මම කෝකටත් කොකනට් ඩොඩොල් ගත්තෙමි.
සැබවින්ම ඒ අපේ දොදොල්ය.

දොදොල් ලංකාවට ආවෙණික කැවිල්ලක් නොවේ. එය පිලිපීනයට , ඉන්දුනීසියාවට හෝ මැලේසියාවට අයත් කැවිල්ලක් විය යුතුය.
ලංකාවේ එක් එක් පළාත් එක් එක් දේට ප්‍රසිද්ධය. බිබිලේ දොඩම් , නාවල අන්නාසි ආදි වශයෙන්ය. ගාල්ල පහු කර කතරගං යන කොට මග දෙපස කුඩා කඩවල දොදොල් පට්ට එල්ලෙමින් මග යනවුන්ට අත වනයි. කතරගං ගොස් ආපසු එනවිට දොදොල් පට්ට කීපයක්ම ගෙන ඒමට අපි අමතක නොකරමු.

තෙල් අධික කැවිල්ලක් වන එය ඉඳ හිට කෑවාට වරදක් නැතිමුත් නිතර කෑමෙන් ශරීරය තරබාරු වේ.

හාල් පිටි , පොල් කිරි යහමින් දමා ඊට හකුරු , කජු මද එක් කරමින් බොහෝ වේලාවක් හැඳි ගා දොදොල් සාදනු ලැබේ.

මේ ගීතය අහම්බෙන් අහන්ට ලැබුණු දොදොල් හා සම්බ්නධ ගීයකි. රස බලා පොඩි කමෙන්ටුවක් දමා යන්න අමතක නොකරන්න.

 

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

වන්දනාවේ යමු .

April 26th, 2011 | Please leave a comment | 15 Comments »

ඒ එක්දාස් නමසිය බර ගණන් වලය. අපි ඒ කාලයේ අධ්‍යාපන ගමන් හැරුණු විට ගියේ වන්දනා ගමන්ය. විනෝද ගමන් කියා දෙයක් අපේ ගම් වල නොවීය.
 
අපේ ගමේ වන්දනා ගමන් සංවිධානය කළේ මැම්බර මාමාය. ගම්සභාවේ නිලයක් දැරූ නිසා ගම්මු ඔහුට ” මැම්බර ” යැයි කීහ.
ඔහු නඩේ ගුරාය. මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවන නමුත් මේ ගමන් වලින් ඔහුට පාඩුවක් මිස ලාභයක් ලැබුණේ නැත.
එකම වාසිය වන්නේ ඔහුගේ පවුලේ උදවියගේ වියදමද ගමනට සහභාගිවන අය  විසින් දැරීමයි.

ඊට අමතරව අනිවාර්යයෙන්ම  ගමනට එකවන පංසලේ හාමුදුරුවන්ගේ වියදමද ඔහුට බලා ගැනීමට සිදු විය.
 
මැම්බර මාමා මෙවර සංවිධානය කළේ  දින හතක වට වන්දනාවකි.
පේරාදෙණිය මල්වත්ත නරඹා , එහිදීම දිවා ආහාරය ගෙන , අනතුරුව දළදා වැඳ පුදා ගෙන මාතලේ අළුවිහාරය , කවටයාමුණ  දඹුල්ල ,සීගිරිය , අනුරාධපුර පොළොන්නරු ගොස් අටමස්තාන වැඳ පුදා ගැනීම ගමනේ අරමුණ විය.

අය කිරීම එක්කෙනාගෙන් හාල් සේරුවක් , පොල් ගෙඩියක්  සහ රුපියල්  දාහතරකි.
 
        ගමනට මාසයකට පමණ පෙර ගමේ හැම ගෙදරකටම ගිය මැම්බර මාමා ගමන් විස්තරේ හැමෝටම කියා , ඇක්සයිස් පොතක හරියටම ගමනට සහභාගි වන අයගේ ලැයිස්තුවක් හා අත්තිකාරමක් ගත්තේය.
 
   කුඩාවුන් වූ අප දිනය එනතුරු ඇඟිලි ගැන්නෙමු.

සැලසුමේ හැටියට වූයේ තම තමන්ගේ ගෙවල්වලින් උදේ ආහාරය  ගෙන , දවල් කෑම සඳහා බත් මුලක්ද , ගමනට ඇවැසි අනෙක් දෑ ද රැගෙන උදේ 8.00 වෙද්දී පංසල ගාවට එක රැස් වීමය.
 
ලාහට ගෙම්බන් එකතු කරන ආකාරයට උදේ 9.00 වන විට නඩය සූදානම් කර ගැන්මට මැම්බර මාමා සමත් විය. සියළු දෙනාම ගමනට පේවී බලා සිටියහ. 11.00 වන තුරුත් බස් රථය පැමිණියේ නැත. එය පේරාදෙණියේ සිට ආ යුතුය. හැමෝගේම ඉවසීම සීමා රහිත විය. හැමෝම බෙලි දික් කරමින් පාර දිහා බලන්නට වූහ.

කෙනෙක් මැම්බර මාමාට ආඩපාලි කීය. ගමනට සූදානම් වී සිටි රාහුල හාමුදුරුවෝ ආපසු පංසලට වැඩම කොට බුද්ධ පූජාව තියා , දන් වළඳා ඝංඨාරය තුන් වරක් ගසන විටම වංගුවෙන් බස් රතය මතු විය. හැමෝම සාදුකාර දුන්හ.
එවිට දහවල් 12.00 ද පසුවී තිබුන් බැවින් , නඩේ කට්ටිය අතර මගදී කෑමට පිළියෙල කළ බත් මුල ලිහා කෑමට පටන් ගත්හ.
පුවක් කොලපු වේලා සකස් කර ගත් දවටනයක හෝ කෙහෙල් කොළ වල එතූ හැම බත් මුලකම පාහේ , වියලෙන්නට ඉවූ පරිප්පු මාළුවත් , අල බැදුමත් වීය.
 
පංසලේ ඇබිත්තයා බස් රථයේ ඉදිරිපස පුවක් මලක් බැඳ එදෙස දුකෙන් බලා සිටියේ තමන්ට ගමනට යා නොහැකි නිසාය.
 
බස් රතයේ වහල මතට ඇඳුම් බෑග, දර , ඉවීමට ඇවැසි උපකරණ ලහි ලහියේ පැටවින.
රාහුල හාමුදුරුවෝ සිරී පාද කන්ද දිහා බලා ගෙන , හැමෝම පංච ශීලයේ පිහිටුවා , තිසරණ සරණින් නිරුපද්‍රිතව ආපසු ඒමට සමන් දෙවි කරුණාව ඉල්ලා සිටියේය. මැම්බර මාමාද කෙටි කතාවක් කළ පසු සාදුකාර මධ්‍යයේ ගමන ආරම්භ විය.

මා ඇතුළු කුඩාවුන් ජනෙල් අයින් ලබා ගැනීමට පොර කෑහ. බවලත්තු කීප දෙනෙක් තුන්සරණය පොත් දිග හැර ගත්හ.
වැඩිහිටි කාන්තාවක් ගායනය පටන් ගත්තාය. ඇගේ කට හඬ මිහිරිය.
” බුද්ධං සරණේ සිරස දරා ගෙන”…
ඇය මුල් පදය කියවා නිමවනවාත් සමඟම අනෙක් අය  එම පදයම සාමුහිකව ගයයි.
“ධම්මං සරණේ සිත පහදා     ගෙන
  සංඝං සරණේ සිවුරු දරා      ගෙන
  ඉඤ්ඤයි තුන් සරණේ අදහා ගෙන”..
හදිසියේ  බෝධියක්, බුදු පිළිමයක්, පන්සලක් දුටු විට හැමෝම ගායනය නවත්වා සාදු  සාදු  සා…. කියමින් සාදුකාර දෙති.
 
අපි පොඩි එව්වෝ  – මග දෙපස යන්නවුන්ට නොනවත්වා ටටා කීවෙමු.
 
අපට වඩා මදක් වයසින් වැඩි ළමෝ අභ්‍යාස පොත් පිරෙන්නට , පසු කරන නගරවල නම් ලීවෝය. රාහුල හාමුදුරුවෝ දින පොතේ ගමන් විස්තරය සටහන් කළහ.

පේරාදෙණිය මල් වත්තේ මල් වර්ග වලට වඩා එක පෙළට සිටුවා තිබූ පොල් වැනි තාල වර්ගයේ ගස්, ඉහළ සිට පහලට විහිදුනු විශාල අතු සහිත  දැවැන්ත ගස් අප සිත් ගත්තේය.
දළදා මාළිගාවේදී එහි ඉතිහාසය කියා දෙන්නට රාහුල හාමුදුරුවන් වෙහෙසක් ගත්තද, අප වඩාත් ආසා කළේ පොකුණේ වූ ඉබ්බන්ට හා මාළුන්ට පොරි දැමීමටය. පොරි ගොට්ටක් සත 5 ක් විය.
අපගේ බස් රතය ඉතා පරණ ජාතියේ, හොම්බ තියෙන , ගැස්සෙන , වලක වැටෙන විට ඊයේ කෑ ඒවාද උගුරට එන ජාතියේ එකකි. ඇතුළට හමා ආ ඉන්ධන ගඳද, බඩවල් කැකෑරිල්ලද නිසා බවලතුන් බොහොමයක් හා කුඩාවුන් , වීදුරු කවුලු වලින් ඔලු ගෙඩි එළියට දමා වමනය කරන්නට විය. ඒ සමඟම මුළු බස් රතයම වමනය ගඳින් පිරෙන්නට විය.
දඹුල්ලත් , අනුරාධපුරයත් අතර පාසල් ගොඩනැගිල්ලක අප රැයක් ගත කළා මට හොඳට මතකය. පාසල් ගුරු නිවසේ සිටි විදුහල්පතිතුමා ඊට අවසරය ලබා දුන් අතර පිටත් වීමට පෙර අවට පිරිසිදු කර යන ලෙස පමණක් ඉල්ලා සිටියේය.
ඉඩ තියෙන හරියක ලිපක් බැඳ , අහල පහලින්ම දර සොයා ගෙන ගිනි අවුළුවා , රෑ කෑමට බතක් , පොල් සම්බෝලයක් හා කරවල බැදුමක් පිලියෙල විය.
මැම්බර මාමා ඇතුළු වැඩිහිටියන් කීප දෙනෙක් කසු කුසු ගාමින් යමක් සෙවූහ.
කට හැකරයෙකු වූ විදානෙ මාමා කී  ” මෙහේ බල්ලන්ට ගහන ඒව නං හොයන්ට බැරි වෙයි මේ වෙලාවෙ වත්තට ගහන එවුවවත් බලමු” යන්නේ තේරුම අපට වැටහුනේම නැත.

බල්ලන්ට ගහන්නේ ” ගල්” ය. වත්තට ගහන්නේ “කටුකම්බි” හෙවත් කසිප්පුය.
බොහෝවිට මෙම වන්දනා ගමන් යොදා ගන්නේ පාසල් නිවාඩුවටය.
නිවාඩුව නිමවී පාසල පටන් ගත් පසු , මා ගිය චාරිකාවක් මැයෙන් රචනාවක් ලිවීමට හැම ළමයෙකුටම සිදුවිය.
 
දැන් අය යන්නේ වන්දනා ගමන් නොව විනෝද ගමන්ය. සති දෙකකට පමන පෙර හෝටල් වලට හෝ රෙස්ට් හවුස් වලට කතා කොට කාමර වෙන් කරගන්නා දැන් හැදෙන අයට ගමනට අත්‍යවශ්‍යම දේ  වන්නේ  බෝතලේය.
කුණුහරුප සිංදු කියමින් කෑකොස්සන් ගහමින් , සුරන්ගනීට මාළු ගෙනාවා වැනි අරුත්සුන් ගී ගයමින් යන මෙවන් ගමන් වලට වඩා අප ඒ කාලයේ ගිය ගමන් බිමන් කෙතරම් අව්‍යාජදැයි දැන් සිතේ.

කවුද මේ වැලන්ටයින් ?

February 14th, 2011 | Please leave a comment | 5 Comments »

කවුද මේ වැලන්ටයින් ?
වැලන්ටයින් ගැන පුරාවෘත කීපයක්ම ඇත.
ඔහු ක්‍රිස්තියානි හෝ කතෝලික පූජකයෙක් විය යුතුය.
මේ එක කතන්දරයකි.
14 වන සියවසේ අප්‍රිකාවේ රෝමානු පෙදෙසේ ක්‍රිස්තියානිකාරයන්ට අපල කාලයක් විය. ඔවුනට උදවු කිරීමද අපරාධයක් සේ සැළකිණි.
වැලන්ටයින් නම් අයෙක් ක්‍රිස්තියානි කාරයන්ට උදවු කිරීම හා ඔවුනට විවාහ වීමට උපකාර කිරීමත් නිසා එවකට රජ කළ ක්ලෝඩියස් රජුගේ උදහසට ලක්වී මරා දැමින.
ඔහුගේ දේහය මිහිදන් කර ඇත්තේ පෙබරවාරි 14 දිනකය. වැලන්ටයින් පෙම්වතුන් වෙනුවෙන් දිවි පිදූ නිසා ඔහු වීරයෙකි. 1969 වසරේදී ඔහු සාන්තුවරයෙක් ලෙස නම් කොට ඇති නිසා මෙම දිනය ආගමික ස්වරූපයක් ගනී.
කතාවේ ඇත්ත නැත්ත කෙසේ වුවත් මෙම යට ගියාව ගොඩ ගන්නේ කොම්පනිකාරයින්ය.
පෙබරවාරි මුල් සතියේ හදවත් හැඩයට නිපදවුනු සුභපැතුම්, කාඩ්පත්,හදවත් මුද්‍රණය කළ ඇඳුම් කේක් . රස කැවිලි ආදියෙන් වෙළඳ සැල් පිරී යයි. අවන්හල් අතුරු සිදුරු නැතිව පිරී යයි.
“හැපි වැලන්ටයින්ස් ඩේ” කියා ගනිමින් එකිනෙකාට සුභ පතා ගනිති. ආදරවන්තයන් පමණක් නොව, සැමියා බිරිඳටද, බිරිඳ සැමියාටද මෙසේ සුභ පතා ගනිති. තෑගි භෝග හුවමාරු කර ගනිති.
බටහිරින් බෝ වුනු මෙම චාරිත්‍රය දැන් ලංකාවටද ගොස් ඇත.
මීට විසි වසරකට පෙර ලංකාවේ වැලන්ටයින් දිනය සමරා නැති බව මට සහතිකය. එසේ වූවා නම් මට එය මග හැරෙන්නට විදිහක් නැත. ඒ මාද හොඳ පෙම්වතෙක් වූ නිසාය
කාර්ය බහුල සමාජය මෙසේ අම්මා වෙනුවෙන්ද , තාත්තා වෙනුවෙන්ද , ගුරුවරයා වෙනුවෙන්ද , අවුරුද්දේ දින වෙන් කර ගෙන ඇත.
වැලන්ටයින් ගැන කියන විට මට සිහිවෙන්නේ අනංගයාය. හෙවත් රෝම කතාවල එන කියුපිඩ්ය. මොවුන් දෙදෙනාම ළදරු මුහුණක්, පියාපත් යුවලක් ඇති, දුන්නක් හා ඊතලයක් දරා ගත් හෙලිකොට්ටන්ය. ඒ නිසා රෝමයේ කියුපිඩ් ද , අපේ රටේ අනංගයාද එක්කෙනාමය.
අනංගයා කරන්නේද වැලන්ටයින් කළ කාරියමය. අනංගයා තම දුන්නට යොදන හී තලය මලින් සැරසී ඇත. මලින් සැදුනු අවියක් දරන නිසා ” මලවි” කියාද , මල් සරා කියාද කියයි.
තම දුන්නට මල් හී සැරයක් දමා දෙදෙනෙකුට විදීමෙන් එම දෙදෙන පෙම්වතුන් බවට පත්වේ. එසේ යදා ගන්නා මල් පස් වර්ගයකි. මල් වර්ගය අනුව ප්‍රතිපල වෙනස් වේ.
නිල් මහනෙල් මල යොදා විද්ද විට දෙදෙන සැණෙකින් පෙම්වතුන් බවට පත්වේ. ” දැක්ක ගමන් හිත වැටුනා ” කියන්නේ එවිටය. තවත් මල් වර්ගයක් යෙදූ විට පෙම්වතුන් වීමට සෑහෙන කාලයක් ගත වන බවද , දෙදෙනා දෙපැත්තකට වී කඳුළු සලන බවද කියැවේ.
අනංගයා හෙවත් මල්සරාගේ කොඩියේ මාළුවෙක් ඉන්නා නිසා ඔහුට ” මින් දද” කියාද කියයි. කවුරු කොහොම මොකෙන් විද්දත් මේ ලෝකයේ නොහැඬූ එකම පෙම්වතියක්වත් නැත.
” මින්දද හී සර
වැදී සැළෙන හද
නංවන දුක් ගී
ඔබට ඇහෙනවද ” කියා අමරදේවයන් ගයන්නේ එනිසාවෙනි.
අප දෙදෙනාට විද ඇත්තේ මොන කෙහෙම්මලකින්දැයි මට නොතේරේ.
ඈ මා හැර නොයයි
මට ද ඈ හැර දමා යාමට නොසිතේ.

හද රැඳුනු ගී – 2

January 31st, 2011 | Please leave a comment | No Comments »

බබ්බු සහ අලි බබ්බු

January 16th, 2011 | Please leave a comment | 1 Comment »

තාත්තී…….
ඇයි බබෝ……?
මිලියනයක් කියන්නෙ කීයද ?..
??????????
අර ටී වී නිවුස් කියන ඇන්ටි
නිතරම කියන්නෙ තුන් මිලියන කියල
ආ…  මිලියනය කියන්නෙ ලොකු ඉලක්කමක්
ගොඩාක් ලොකු ??????
සීයක් ?
නෑ… ඊටත් ලොකු….
එහෙනං දෙක සීයක් ?
නෑ ඊටත් ලොකුයි..
බබාට ඒක ඉගෙන ගන්න පුළුවන්
ඉස්කෝලෙ යනකොට..
තාත්ති දන්නවද ?..
ඔව්…
තාත්ති ෂෝක්..
තාත්තිගෙ අත් දෙක ලොකුයි.
තාත්තිත් ලොකුයි..
තාත්තිට පුළුවන්ද අහස අල්ලන්න ?
තාත්තිට පුළුවන්..
තාත්ති වහලෙටත් නගිනව..
 
අම්මී….තාත්තී… අද ටීන ගෙ බර්ත්ඩේ එක
අපි එනකොට රෑ වෙයි…
කීය විතර ?  රෑ 12.00 විතර ..?
nooooooo…. little bit more….
ඇහැරගෙන ඉන්න එපා
අපි එනකං
we are not babies anymore..
bye  අම්මී….
bye  තාත්තී…
old couple …..have fun….

අසල්වැසියෝ ….

January 13th, 2011 | Please leave a comment | 2 Comments »

 

හානේ මිසිස් සිරිවා….දන
කොහෙද අප්පෙ ගිහින් හිටියෙ
ආවා මම වැට ගාවට
දවසට හත් අට සැරයක්
ඔයා ඒවිදැයි බලන්න
ටිකක් විතර ඇදිල ගිහින්
අසනීපෙන්වත් හිටියද ?
ආරංචිද වැඩක් ?
එහා ගෙදර අරං තියෙන්නෙ
ගජනායකල කට්ටියක්ලු
මොක්කු උනත් අපට මොටද නේද?
කැන්ඩියන්ස්ලා….
බොරුද කොහෙද අනේ..
කුලියට වෙන්නැති
ඇයි වදේ දන්නෙ නැද්ද ?
අර මූණ පුරා කුරුලෑ තියෙන
පිරිමියෙක්ගෙ වගෙ හරියට.
තව තියෙනව හොට් නිව්ස් එකක්
නෑ.. කියන්නෙම නෑ..
මිසිස් පෙරේරගෙ ලොකු දූ
අර මෙතනින් යන්නෙ එන්නෙ
උදේ හවා බිම බලාන
හොර පූසි වගෙ බඩ්ඩ
ගිහින්ලු රෝන්දෙක
යුනිෆෝම් එක පිටින්ම
අස් කරලලු ඉස්කෝලෙන්
අහුවෙලාලු අතටම
ආ.. ඔය එන්නෙ කියන කොටම
දැම්ම මැරෙන එකක් නෑ..
කම් මිසිස් ගජනායක
අපි මේ දැං කතා උනේ
ඔයාල වගෙ වැදගත් අය
අහල පහල ඉන්නා එක
කොච්චර හයියක්ද හිතට ?
අපේ මෙයා ගිහින් වත්තට
එන්නෙ නෙක්ස්ට් වීක් විතර
එහේ ස්ට්‍රයික් එකක්ලු
වැඩියෙන් පඩි නඩි ඉල්ලල
උන්ට මොටද අනේ ලොකු පඩි
පිරි මහ ගෙන ඉන්නෙ නැතිව ?
නේද ?….

පෙර සහ පසු

January 10th, 2011 | Please leave a comment | 2 Comments »

මාගෙ සැමරුම් පොතේ
රෝස පිටුවක් පුරා
පුංචි නිල්පාට බෝල අකුරෙන්
ආදරය දෙවෙනි වන්නේ
නිවනට පමණකැයි
ඇය ලියා තිබුනා
තාම මතකයි
නිවන යනු තමන් දැකීමයි
ආදරය යනු වෙනෙකෙක් දැකීමයි
( එවන් දුටු අය වෙත්ද ලෝ තුල ?)
පෙර සැඳෑවක ඔබේ අතගෙන
උයන් කොනෙක , ගං තෙරක හිඳ
ආදරය, නිවනට ද ඉහළයි
මා කීවා මටද මතකයි
ආදරය යනු ….
චුයිංගම් එකක් මෙනි
තත්පර ගාණකට පමණක්
රසය දනවන
අනතුරුව
නීරස කොහොල්ලෑ ගුලියක්
පමණක් ඉතිරිවන
එහෙත් දා ගෙන හපන .

මනස්ගාත.

January 6th, 2011 | Please leave a comment | 6 Comments »

බ්ලොග් ලියන්න පටන් ගත්තු එකත් අබිං කෑව හා සමානයි. කෑ එකාට නොකා බෑ.
අද මොනවද ලියන්නේ කියල හිත හිතා ඉන්න කොට පරණ ජන ගීයක කොටසක් මතක් උනා.
අම්ම කෙනෙක් ජය සිරි මහ බෝ සමිඳුන්ගෙන් ඉල්ලා හිටිනවා එයාට පිරිමි දරුවෙක් ලබා දෙන්න කියල.
මට මතක මෙච්චරයි..
“ඇතෙක් වගේ තනි මං සල බයක් නැතිව යන්නයි..
උඩ මලුවේ බෝධි සාමි පිරිමි පුතෙක් දෙන්නයි….” කියල.
මේකෙන් කියවෙන්නෙ පිරිමි උතුම් , ගෑණු ජරා ජාතියක් කියන එකයි.
ගෑනු ජාතිය ජරා ජාතිය
ගලේ ගහලා මරා දාපිය කියලත් ජන කවි ඇති.
ඒක කියන කොට ඕං අදහස් ගලා ගෙන ගලාගෙන එනව දිය ඇල්ලක් වගේ.
ගෑනු කියල ජාතියක් නැත්නම් පිරිමිත් නෑ.
පිරිමි නැත්නම් ගෑණුත් නෑ. ගෑණු නැතුව ඉඳල මොටද ?…
මල් වලට පාට මොකටද ? පැණි මොකටද ? සුවඳ මොකටද? ඒ මී මැස්සො , බඹරු , සමනළයො අද්ද ගන්න. ඒ අද්ද ගන්නෙ මොකටද..? පරාග ටිකක් තවරල අරින්න.. ඒ මොකටද ? තමන්ගෙ වර්ගයා බෝ කරන්න.
සුවඳ නැත්නම්, පැණි නැත්නම් , ලස්සන නැත්නම් ඔය එකෙක් වත් එයියැ.?
ගැහැණිය කියන්නෙ කකුලෙ මහපට ඇඟිල්ලෙ ඉඳල හිස් මුදුන දක්වා එකම කලාගාරයක්. උන් ලස්සන වෙලා තියෙන්නෙ මොකටද ? මිනිස් බඹරු , මිනිස් දෙඹරු අද්ද ගන්න.. ඒ මොකටද ???? ආයෙ අමුතුවෙන් කියන්න ඕනයැ….?
ලෝකෙ ගෑනු වැඩියි. උන් කරන්නෙ තමන්ගෙ ලස්සන වැඩි කරගන්න එක එක විලාසිතා කරනව. ඒව කරන්න වෙනම කොම්පනි තියෙනව. ඇඳුම් මෝස්තර, නිය ආලේප, තොල් ආලේප, තව මොනවද අප්පේ නැත්තේ?
පිරිමි අපේ මයිල් කකුල් පෙන්නල මේ කොම්පනි කාරයන්ට කවදා බඩු විකුණ ගන්නද?
ඉන්ටනෙට් එකේ මම දැක්ක ලංකාවෙ ඇමති කෙනෙක් මිනි ගවුම් තහනම් කරන්න යනව කියල. ඕක ඇත්තක්ද මංදා ? මුංට දෙයියන්ගෙ හාල් කැවිලද ?
ඕං 63 වන නිදහසත් මහ ඉහළින් සමරන්න යනව. සුද්දා ගියා ගියාමයි.
ඊට පස්සෙ එක රේල් පාරක් හදා ගන්න අපට පුලුවන් උනාද?
ඔච්චර කරන්න දේ එමට තියෙද්දි මේවගෙ කඩප්පුලි කතා කියල මිනිස්සු කුලප්පු කරන්නෙ ? එක දිගට මාස දෙකක් පෑව්වොත් ලයිට් කපනව. අපේ කිකිලියො මෙච්චර ඉන්දෙද්දි බිත්තරත් ඉම්පෝට් කරනව…
අර දොස්තර ඇමැත්ත ඔය වගේ කතාවක් කොලා නං ඉවසන්න තිබුන..
නපුංසකයො..
මෙච්චර දවස් මගේ බ්ලොග් හොඳයි රසවත් කියපු අය මේක කියවලා නං මට බනී පලු යන්න.. බැනල කොරයි එහෙනං…
????? ?????? ??????

හින්දි කොපි

December 30th, 2010 | Please leave a comment | 5 Comments »

අවුරුදු මිලියන ගණනකට පෙර ලෝකයේ තිබුනේ මහාද්වීප දෙකක් පමණක් බව භූගෝල විද්‍යාඥයෝ පවසත්. ඉහළින් පිහිටි ගොන්ඩ්වානාලන්තය සහ පහලින් පිහිටි ලොරෙන්ෂියා මහාද්වීපය ටෙතිස් නම් මුහුදකින් වෙන් වී තිබුනු බව ඔවුන්ගේ මතයයි.
ඒ හැර මතක ඇති කාලයක ලංකාව , ඉන්දියාවට සම්බන්ධව නොතිබිණ.
දේශපාලනික වශයෙන්ද ලංකාව කිසිදාක ඉන්දියාව සතුව නොතිබිණ. වරින් වර සතුරු ආක්‍රමණ එල්ල වුවද , වරින් වර දෙමළ සොලීන් සමහර පෙදෙස් අල්ලා ගෙන සිටියද, ඔවුන් පලවා හල බව මහාවංශය කියයි.
ශ්‍රී ලංකාව ඉන්දියාවට ආසන්නයේ තිබීම නිසා එහි විවිධ බලපෑම් වැඩිය.
අපට වැඩි දෙයක් ලැබුණේ ඉන්දියාවෙනි. නැටුම් , සංගීතය ඇතුලු සකල කලාවන්, බුද්ධාගම හා ත්‍රස්තවාදය ඉන් ප්‍රධානය.
ලංකා ගීත සාහිත්‍යය ගත් කළ. හින්දි සිංදු අමු අමුවේ කොපි කළ කාලයක් විය.
ඊට හේතුව අපට හොඳ ගීත රචකයන් නොසිටීමය.
ඉන්දියන් ගෑනු කොහොමටත් ලස්සනය. භාෂාවද , දෙමළ බස මෙන් කඨෝර නැති කණට සුමිහිරි ගීතමය බසකි. හින්දි ගී තනුද එකකට එකක් නොදෙවෙනිය. ඒ නිසාම හින්දි චිත්‍රපට කෙලින්ම කාබන් පිටපත් මෙන් කොපි කළ කාලයක් 70 දශකය දක්වාම විය. එසේම එය ලාභ දායක විය.
අපට සිටි අසහාය ගායකයා වූ ජෝතිපාලයන් ගේ ජනප්‍රියතාවයට හේතු වූයේ මේ හින්දි කොපි ගී රැල්ලය.
හින්දි ගී කොපි කිරීම, අලුතින් ගීයක් නිර්මාණය කරනවාට වඩා අසීරු කාර්යයකි. මන්ද යත් හින්දි තනුව හා වචන සමඟ ගැලපෙන සිංහළ වචන දර්ශනයට අනුකූලව හ අර්ථාන්විතව යොදා ගත යුතු නිසාය.
” තුම්සෙ අච්චා කෞන් හේයි” යන්න ” තමුසෙ ඇත්තටම කවුද ඕයි” කියා කිව හැකි වුවද, ගායනයේදී , ගායකයා අපහසුතාවයට පත්වේ.
පසු කලෙක කරුණාරත්න අබේසේකර, අජන්තා රණසිංහ, ඩෝල්ටන් අල්විස්, ඔගස්ටස් විනයාගරත්නම්, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි අයද:
පසුව රත්න ශ්‍රී විජේසිංහ, සුනිල් ගමගේ, මහගම සේකර වැන්නවුන්ද අපූරු ගී රචනා බිහි කළහ.
අලුත් පරම්පරාවේද දක්ෂ ගීත රචකයන්, සංගීත ශිල්පීන් සිටියදී තවදුරටත් මෙසේ කොපි කරන්නේ ඇයිද මට ප්‍රශ්නයකි.

දුරුතු හීතලට පෙනෙන හීන

December 28th, 2010 | Please leave a comment | 10 Comments »

පොල් බෑයට කුරුමාණම් අල්ලන හොර බැළලියක මෙන් මගේ භාරියාව මා අසළ ගැවසෙන්නට විය. ඈ අත උණුසුම් කෝපි කෝප්පයක්ද විය.
ගෑණුන්ගේ මොළේ හැඳි මිටේ දිග උනත් මගේ එක්කෙනාගේ මොළේ කොසු මිටටත් වඩා දිගය.
ඈය මේ සැරසෙන්නේ මොකක් හෝ ඥාන කතාවක් කීමටය.
” ඒයි , අපි ලබන අවුරුද්දේ ලංකාවට යනවද ?”
” පිස්සුද ? අපි ගිය අවුරුද්දෙත් ගියානෙ.. කොච්චර සල්ලියක්ද ?
අඩු ගානේ ටිකට් වලට විතරක් ඩොලර් 5000 ක් වත් යයි. ගිහිල්ල වියදම් කරන්නත්( දුප්පත් නෑයින්ට මැජික් පෙන්නන්න ) තව 3000 ක්වත් එපායැ.”
“ඊට වඩා හොඳයි සිංහළ අවුරුද්ද කිට්ටු කරල ගෙවල් දෙකටම 1000 ගානෙ යවමු.
” එහෙම නෙවේ…. අපි නොමිළේ ලංකාවට යන්න ක්‍රමයක් හොයා ගමු”
” නොමිළේ ?…”
” ඇයි අනේ ඔයා ගෝඨාභය අඳුරනවනේ….”
” ඉතිං?”
” ඔයාට පොලිටිකල් සයන්ස් වලට ඩිග්‍රියකුත් තියෙනවනෙ..”
“ඉතිං?”
” ඉතිං..කිතුල්… බැරිද ඔයාටත් ජනාධිපතිගෙ ඇඩ්වයිසර් කෙනෙක් වෙන්න ?”
අපෙ පංසලේ ලොකු හාමුදුරුවොත් මහින්දගෙ ඇඩ්වයිසර් කෙනෙක් නෙ… හොඳ ගානක් ගෙවනවත් ඇති”
“පිස්සුද ඔයාට?”
” පිස්සු නෙවි… ලෝකෙ හැම රටකම ඉන්නවාලු මහින්දගෙ ඇඩ්වයිසර්ලා…
ඔය ඉස්සර රජ කාලෙත් හිටියෙ පුරෝහිතල, අග්‍ර පුරෝහිතල..”
“ඇයි කේවට්ටයො… වන්දි භට්ටයො.. කවටයො..?”
” ඒක තමා , ටිකක් හිතල බලන්නකෝ”
” හිතන්න දෙයක් නෑ.. අපි ලංකාවෙ මිනිසුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන, රටට කිසි සේවයක් නොකර මුන්ට කඹුරනව…. ඔයා කියන්නෙ ඒ අහිංසකයන්ගෙ සල්ලි මෙහාටත් අදින්න කියලද?”
ඒ කෙසේ වෙතත් නො ඉල්ලාම ලැබුණු කෝපි කෝප්පය නිසා මට ඉබේටම නින්ද ගියේය..
නිව්යෝකයේ සිටින ශ්‍රී ලංකා තානාපති අත මට මහින්ද පණිවුඩයක් එවමින් වහාම එතුමා හමුවන ලෙස අණ කර ඇත. ඒ සමඟම ගුවන් ටිකට් පතක්ද විය.
මා ඇමරිකන් පුරවැසියෙකි.. මා ඔහුගේ අණ පිළිපැදීම අනවශ්‍ය වුවද නිකම් ලැබෙන ටිකට් එකෙන් ලංකාවට යාමට තීරණය කළෙමි.
කටුනායක ගුවන් තොටින් පිටවූ වහාම මා පිළිගැනීමට උසස් පොලිස් නිලදාරීන් දෙපලක් මහින්ද එවා තිබින. ඔවුන් මා පිළිගෙන ගලදාරි හෝටලයට රැගෙන ගියේය.
එහි ඉස්තරම් කාමරයක් මා වෙනුවෙන් වෙන් කර තිබිණ. මා එහි නැවතී විවේක ගෙන පසුවදා හරියටම උදේ 8.00 ට අරලියගහ මන්දිරයට යා යුතුය.
හරියටම වෙලාවට එතුමා මා පිළි ගත්තේය.
” ආ.. කොහොමද ෆ්ලයිට් එක. ඊයෙ රෑ හොඳට විවේක ගත්තද ?”
මම හිස සලා එතුමාට උත්තර දුන්නෙමි.
” මම කොහොමද ඔබ තුමාට ආමන්ත්‍රණය කරන්නේ? ඔබාමට කතා කරනව වගේ මිස්ටර් මහින්ද කියන්නද? යුවර් එක්සලන්සි කියන්නද ?”
” නෑ නිකම් මහින්ද කිව්වාම ඇති”
මට මහත් පහසුවක් දැනුනි.
” කෝ ඔබේ ආර්යාව පේන්න නැත්තෙ? ස්විමිං ගිහිල්ලද? නැත්නම් නෙට්බෝල්….”
එවිටම ශිරන්ති වැලිතලප බන්දේසියක්ද තේ පෝච්චියක්ද රැගෙන අප වෙත ආවාය.
ඇය සැබවින්ම සිංහළ කුල කාන්තාවක් බව මට හැඟුනි.
” අපි කෙලින්ම කාරණේට බහිමු.. මම කැමතියි ඔබ මගේ ඇඩ්වයිසර් කෙනෙක් හැටියට පත් කර ගන්න”..
” මං කැමතියි… මං කැමතියි… ” මම හිස සළා, අත් දෙකම ඔසවා කැමැත්ත පළ කළෙමි.
” නිහාල් අහල ඇතිනෙ මම අපේ රට ආසියාවෙ ආශ්චර්ය කරන්න යන එක ගැන”
” අපොයි ඔව්.. මට නම් ඕක මාස දෙකෙන් කරන්න පුලුවන්” මම කීවෙමි.
” මාස දෙකෙන් ? ඒ කොහොමද?”
” මෙහෙමයි… මහින්ද මම කියන විදියට වැඩ කරන්න ඕන…ඉස්සෙල්ලාම මා හැර ඔය අනිත් ඇඩ්වයිසර්ල හැමෝම අයින් කරන්න ඕන”
“ඊළඟට ?”..
” අනවශ්‍ය වියදම් කපා හරින්න ඕන”
” ඒ කිව්වෙ ?”
” දැන් ටිකක් හිතල බලන්න… මේ අල්ලක් විතර රට පාලනය කරන්න පාර්ලිමෙන්තුව තියෙනව… පළාත් සභා.. ප්‍රාදේශීය සභා,, අර සභා,,, මේ සභා… කීයක් තියෙනවද?”
කලින් ක්‍රමයෙ කිසි අඩුවක් තිබුනෙ නෑනේද?”
” හරි ඊළඟට..”?
” ඊළඟට නේද ?”..අමාත්‍යාංශ අඩු කරන්න ඕන. එකම සබ්ජෙක්ට් එකට ඇමතිවරු කී දෙනෙක්ද?
අධ්‍යාපනයට එක්කෙනයි.. උසස් අධ්යාපනේට එක්කෙනයි. ඔය දෙකම එකයි නේද?
වරාය, නාවික කටයුතු, ගමනාගමන, දුම් රිය, ගුවන්තොටුපොල මේ සේරම ප්‍රවාහන කටයුතු නේද?
බුද්ධශාසන, වනිතා කටයුතු, සෞඛ්‍ය , සමාජසේවා… මේ සේරම සමාජ සේවා නේද ?
ඒ වගේ තව කොච්චර තියෙනවද ?”
” හරි ඊළඟට?”
” මරණීය දණ්ඩනය නැවත ඇති කරන්න ඕන. මිනී මැරීම, රජයේ දේපළ විනාශ කිරීම, රට බෙදීමට තැත් කිරීම, ස්ත්‍රී දූෂණය , අල්ලස මේ හැමටම දඬුවම මරණය විය යුතුය.”
” හරි .. ඊ ළඟට ?”..
” ආනයන සීමා කළ යුතුය. උදාහරණයක් වශයෙන් ලංකාවෙ වැවෙන , වවන්ට පුලුවන් දේ, ලංකාවේ හදන්ට පුලුවන් දේවල්”
දැන් බලන්න ඉම්පෝටඩ් චොකලට් වර්ගම කීයක් තියෙනවද?”
මෙච්චර වෙලා කටින් මා දිහා බලා සිටි එතුමා කතා කළා…
” දැන් ඔය වැඩි පුර මිනිස්සු අස් කළාම ඒ මිනිස්සු කෑ ගහයි නේද රස්සා නැතිව”…
” ඒ අය දාන්න පුලුවන් සංවර්ධන වැඩ වලට… ඔය ඉස්සර තිබුනෙ ගොවි හමුදාව කියල එකක්. හිස්… වැඩක් ගන්නැති ඉඩම් කොච්චර තියෙනවද ? අද කාලෙ කං කුං වැව්වත් එක්ස්පෝට් කරන්න පුලුවන්”
” හරි එහෙමත් කළා කියමුකො.. ඊ ළඟට ?”
මහින්ද දන්නවනේ කාල් මාක්ස් කියන්නෙ කව්ද කියල… කාල් මාක්ස්ට අනුව වැටුප කියන්නේ ශ්‍රමයට ගෙවන කුලිය. එහෙම නම් ශ්‍රමය වැඩියෙන් යොදන අයට වැඩි වැටුපක් ගෙවන්න ඕන.”
” හත් ඉලව්වේ මේ ඔක්කොම කරන ඇහැක් වෙයිද ?”
” ඔබට තියෙන බලතල අනුව ඒක සුලු දෙයක්.. ධනවාදී ඇමරිකාවෙ දොස්තර කෙනෙකුට ගෙවන වැටුපෙයි, කම්කරුවෙකුට ගෙවන වැටුපෙයි වැඩි වෙනසක් නෑ. එහෙම උනාම සමාජ විෂමතාවය අඩුවෙනව. මිනිසුන්ගෙ හීන මාණය නැතිවෙනව. වැඩි පඩියක් ලැබෙන කොට අල්ලස හොර මැර කම් අඩුවෙනව, හොඳ ජීවන රටාවක් හැදෙනව”
” තව එකක් නිවාඩු අඩු කරන්න ඕන. ලෝකයේ වැඩිම නිවාඩු තියෙන රට අපේ රට.
සෙනසුරාද / ඉරිදා දින 96
පෝය දින 10
නිදහස් දින 1
කම්කරු දින 1
හිංහළ අවුරුද්දට දින 3
වෙසක් දින 2
වෙනත් ආගමික නිවාඩු දින 5
නත්තල් දින 2
මීට අමතර පුද්ගලික නිවාඩු දින 28
ක්‍රිකට් මච් එකක් දිනපුවාම දින 1
මේ සේරම මට මතක විදිහට දින 149
වැඩ කරන දවස් ගානට පඩි ගෙවන ක්‍රමයක් ඇති කරන්න ඕන.
මීට වඩා ලොකු දෙයක් තියෙනවා. ඒ තමා පාර්ලිමෙන්තුව සුද්ද කරන එක.
ඒක කරන්නෙ කොහොමද කියල මම ඊළඟ පාර ආවාම කියන්නම්.. දැනට මේ ඇති… හැබැයි දන්නවනෙ ඉකොනොමි ක්ලාස් එකේ එනකොට පැය 20 ක් විතර හොඳ පණ යනව. ඒ නිසා. බිස්නස් ක්ලාස්…..
ඔලොක්කුවෙන් වාගෙ මා දිහා බැලූ එතුමා..
” හොඳයි බලමුකෝ… මට දැන් මහජන සම්බන්ධතා ඇමති තුමත් එක්ක සාකච්චාවක් තියෙනව “…
” ක් … ක්… කවුරු ?…”
කලබල වූ මා අත වූ උණු තේ කෝප්පය ඔඩොක්කුව පුරාම හැලුනි. මගේ යටි බඩ පිච්චෙනවා වගේ දැනුනි.
” මොකද හීනයක් දැක්කද ? ඕක තමා මම කියන්නෙ පන්සිල් අරන් නිදා ගන්න කියල” ඈ අනික් පැත්තට හැරුනාය.
lankeeya sithuwili