මට මතකයි
ලොකු හා හූවක් ගියා
මාස කීපයකට ඉස්සර
දුකා එහෙම සල්ලි එකතු කළා මොනවටද
උඹට
දුන්නෙ නෑ කීයක්වත් මං
උඹ කවුරු වගේද
උඹ කොහෙද ඉන්නෙ
උඹට මොකද වෙලා තියෙන්නෙ
කියල දැන ගන්න
උඹේ බ්ලොගය අරින හැම වෙලාවෙම
මගෙ කොම්පියුටරේ හිර වෙනව
ඇරගන්න බැරි උනා උඹෙ බ්ලොගය
මෙහෙම වෙන්න ඇති
අඩු ගානෙ දහ දොළොස් වතාවක්
ඒ නිසා ඒක එහෙම පිටින්ම යට ගියා
උඹ හොඳ එකෙක් වෙන්න ඇති
ඒකනේ හැමෝගෙම උනු වුනේ
හොඳ තැනක ඉපදියං
නිවන් දකින්න එපා දැම්ම
මං එන තුරා හිටපං
මං උඹට ණයයි
එකොලොස් වන පංතියේ සිටියදී මම ඉතා විශාල සපත්තු පාරකට ලක්විය. හෙවත් බූට් පාරක් කෑමට සිදු විය. කිසියම් හේතුවක් කරන කොට ගෙන මා පෙම් බැඳි ලලනාව මගේම මිතුරෙකු හා හාද විය.
මගේ නරකම දසාව ලැබූයේ ඉන් ඉක්බිතිවය.
බඩු වැටෙන්නේ ඇති එකාටමය. මා දිහා කිසිම කෙල්ලක් නොබලයි. කෙලි පොඩිත්තියකගේ ඇසුර අවශ්‍යම කාලයේ මට සිදුවූ දෙය වනේ වන හතුරෙකුටවත් නොවෙවා !
උසස් පෙළ හැදෑරීම සඳහ වෙනත් පිට පාසලකින් විජිතා නම් මගේ ගැලවුම්කාරිය පැමිණියේ මේ කාලයේය.
ඇයගේ දත් දෙපේලිය හැරුනු කොට සමස්ත ශරීරයම කට්ට කළු පාටය.
එහෙත් ඇය නිර්මාණය කල දෙවියන් වහන්සේ ඇයට එතරම නපුරු වී නැත.
සිත් ඇද ගන්නා කතා විලාශයකුත් , කන් පිනවන අපූරු කට හඬකුත් ඇයට ලබා දී තිබින.
එවකට තනිකඩව සිටි එකම කොල්ලෙක් වත් ඈ දෙස නොබැලූ අතර ඇගේ වටිනාකම හඳුනා ගත්තේ මා පමණය.
ඇය කතා කළේ ටික් කාක් ක් විතර .. චූට්… ට.. ක් විතර ඇද පැදය. “ඌයිය.. රිදෙනවායියො”
” අද හවස පරක්කු වෙන්න බෑයියො”
වාරාවසාන විවිධ ප්‍රසංගයේදි මියුසික් කිසිම දෙයක් නැතිව, ඇය නන්දා මාලිනියගේ ” උඩඟු ලියන් ගොතා බඳින” ගීය ගායනා කළ ආකාරය හැමගේ ප්‍රසාදයට හේතු වීය. එසේම එය ඇයට නව මිතුරන් සොයා යාමටද අවස්තාවක් විය. එහෙත් ඇය මා අමතක කළේ නැත.
අප දෙදෙනා පුස්තකාලයේදී හෝ, බස් නැවතුමේදී එකට සිටිනු දුටු විට බොහෝ කොල්ලන් අපට කොලොප්පම් කළහ. අපට ” කිරි කෝපි” යැයි කීහ. එහෙත් එය කිට්ටු මිතුරු ඇසුරක්ම මිස ප්‍රේම සම්බන්ධයක් වූයේ නැත.
” දොදොල් කළු උනාට පැනි රහයි නේ” අපට කොලොප්පම් කළ වුන්ට මම කීවෙමි.
අද කතාව කිරි කෝපි ගැනවත් , විජිතා ගැනවත් නොවේය. කළු දොදොල් ගැනය.
මීට මාස කීපයකට පෙර මට මැලේසියාවේදී ඩොඩොල් දැකිය හැකි විය.
මම ඒ අපේ දොදොල් යැයි අනුමාන කොට කීපයක් මිළයට ගත්තෙමි. වෙළඳ සේවිකාව මට ඕනෑ කරන්නේ , කොකනට් ඩොඩොල් ද? දූරියන් ඩොඩොල්දැයි ඇසීය.
චිහ්.. ඩූරියන් දොදොල් ? මම කෝකටත් කොකනට් ඩොඩොල් ගත්තෙමි.
සැබවින්ම ඒ අපේ දොදොල්ය.
දොදොල් ලංකාවට ආවෙණික කැවිල්ලක් නොවේ. එය පිලිපීනයට , ඉන්දුනීසියාවට හෝ මැලේසියාවට අයත් කැවිල්ලක් විය යුතුය.
ලංකාවේ එක් එක් පළාත් එක් එක් දේට ප්‍රසිද්ධය. බිබිලේ දොඩම් , නාවල අන්නාසි ආදි වශයෙන්ය. ගාල්ල පහු කර කතරගං යන කොට මග දෙපස කුඩා කඩවල දොදොල් පට්ට එල්ලෙමින් මග යනවුන්ට අත වනයි. කතරගං ගොස් ආපසු එනවිට දොදොල් පට්ට කීපයක්ම ගෙන ඒමට අපි අමතක නොකරමු.
තෙල් අධික කැවිල්ලක් වන එය ඉඳ හිට කෑවාට වරදක් නැතිමුත් නිතර කෑමෙන් ශරීරය තරබාරු වේ.
හාල් පිටි , පොල් කිරි යහමින් දමා ඊට හකුරු , කජු මද එක් කරමින් බොහෝ වේලාවක් හැඳි ගා දොදොල් සාදනු ලැබේ.
මේ ගීතය අහම්බෙන් අහන්ට ලැබුණු දොදොල් හා සම්බ්නධ ගීයකි. රස බලා පොඩි කමෙන්ටුවක් දමා යන්න අමතක නොකරන්න.
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
ඒ එක්දාස් නමසිය බර ගණන් වලය. අපි ඒ කාලයේ අධ්‍යාපන ගමන් හැරුණු විට ගියේ වන්දනා ගමන්ය. විනෝද ගමන් කියා දෙයක් අපේ ගම් වල නොවීය.
අපේ ගමේ වන්දනා ගමන් සංවිධානය කළේ මැම්බර මාමාය. ගම්සභාවේ නිලයක් දැරූ නිසා ගම්මු ඔහුට ” මැම්බර ” යැයි කීහ.
ඔහු නඩේ ගුරාය. මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවන නමුත් මේ ගමන් වලින් ඔහුට පාඩුවක් මිස ලාභයක් ලැබුණේ නැත.
එකම වාසිය වන්නේ ඔහුගේ පවුලේ උදවියගේ වියදමද ගමනට සහභාගිවන අය විසින් දැරීමයි.
ඊට අමතරව අනිවාර්යයෙන්ම ගමනට එකවන පංසලේ හාමුදුරුවන්ගේ වියදමද ඔහුට බලා ගැනීමට සිදු විය.
මැම්බර මාමා මෙවර සංවිධානය කළේ දින හතක වට වන්දනාවකි.
පේරාදෙණිය මල්වත්ත නරඹා , එහිදීම දිවා ආහාරය ගෙන , අනතුරුව දළදා වැඳ පුදා ගෙන මාතලේ අළුවිහාරය , කවටයාමුණ දඹුල්ල ,සීගිරිය , අනුරාධපුර පොළොන්නරු ගොස් අටමස්තාන වැඳ පුදා ගැනීම ගමනේ අරමුණ විය.
අය කිරීම එක්කෙනාගෙන් හාල් සේරුවක් , පොල් ගෙඩියක් සහ රුපියල් දාහතරකි.
ගමනට මාසයකට පමණ පෙර ගමේ හැම ගෙදරකටම ගිය මැම්බර මාමා ගමන් විස්තරේ හැමෝටම කියා , ඇක්සයිස් පොතක හරියටම ගමනට සහභාගි වන අයගේ ලැයිස්තුවක් හා අත්තිකාරමක් ගත්තේය.
කුඩාවුන් වූ අප දිනය එනතුරු ඇඟිලි ගැන්නෙමු.
සැලසුමේ හැටියට වූයේ තම තමන්ගේ ගෙවල්වලින් උදේ ආහාරය ගෙන , දවල් කෑම සඳහා බත් මුලක්ද , ගමනට ඇවැසි අනෙක් දෑ ද රැගෙන උදේ 8.00 වෙද්දී පංසල ගාවට එක රැස් වීමය.
ලාහට ගෙම්බන් එකතු කරන ආකාරයට උදේ 9.00 වන විට නඩය සූදානම් කර ගැන්මට මැම්බර මාමා සමත් විය. සියළු දෙනාම ගමනට පේවී බලා සිටියහ. 11.00 වන තුරුත් බස් රථය පැමිණියේ නැත. එය පේරාදෙණියේ සිට ආ යුතුය. හැමෝගේම ඉවසීම සීමා රහිත විය. හැමෝම බෙලි දික් කරමින් පාර දිහා බලන්නට වූහ.
කෙනෙක් මැම්බර මාමාට ආඩපාලි කීය. ගමනට සූදානම් වී සිටි රාහුල හාමුදුරුවෝ ආපසු පංසලට වැඩම කොට බුද්ධ පූජාව තියා , දන් වළඳා ඝංඨාරය තුන් වරක් ගසන විටම වංගුවෙන් බස් රතය මතු විය. හැමෝම සාදුකාර දුන්හ.
එවිට දහවල් 12.00 ද පසුවී තිබුන් බැවින් , නඩේ කට්ටිය අතර මගදී කෑමට පිළියෙල කළ බත් මුල ලිහා කෑමට පටන් ගත්හ.
පුවක් කොලපු වේලා සකස් කර ගත් දවටනයක හෝ කෙහෙල් කොළ වල එතූ හැම බත් මුලකම පාහේ , වියලෙන්නට ඉවූ පරිප්පු මාළුවත් , අල බැදුමත් වීය.
පංසලේ ඇබිත්තයා බස් රථයේ ඉදිරිපස පුවක් මලක් බැඳ එදෙස දුකෙන් බලා සිටියේ තමන්ට ගමනට යා නොහැකි නිසාය.
බස් රතයේ වහල මතට ඇඳුම් බෑග, දර , ඉවීමට ඇවැසි උපකරණ ලහි ලහියේ පැටවින.
රාහුල හාමුදුරුවෝ සිරී පාද කන්ද දිහා බලා ගෙන , හැමෝම පංච ශීලයේ පිහිටුවා , තිසරණ සරණින් නිරුපද්‍රිතව ආපසු ඒමට සමන් දෙවි කරුණාව ඉල්ලා සිටියේය. මැම්බර මාමාද කෙටි කතාවක් කළ පසු සාදුකාර මධ්‍යයේ ගමන ආරම්භ විය.
මා ඇතුළු කුඩාවුන් ජනෙල් අයින් ලබා ගැනීමට පොර කෑහ. බවලත්තු කීප දෙනෙක් තුන්සරණය පොත් දිග හැර ගත්හ.
වැඩිහිටි කාන්තාවක් ගායනය පටන් ගත්තාය. ඇගේ කට හඬ මිහිරිය.
” බුද්ධං සරණේ සිරස දරා ගෙන”…
ඇය මුල් පදය කියවා නිමවනවාත් සමඟම අනෙක් අය එම පදයම සාමුහිකව ගයයි.
“ධම්මං සරණේ සිත පහදා ගෙන
සංඝං සරණේ සිවුරු දරා ගෙන
ඉඤ්ඤයි තුන් සරණේ අදහා ගෙන”..
හදිසියේ බෝධියක්, බුදු පිළිමයක්, පන්සලක් දුටු විට හැමෝම ගායනය නවත්වා සාදු සාදු සා…. කියමින් සාදුකාර දෙති.
අපි පොඩි එව්වෝ – මග දෙපස යන්නවුන්ට නොනවත්වා ටටා කීවෙමු.
අපට වඩා මදක් වයසින් වැඩි ළමෝ අභ්‍යාස පොත් පිරෙන්නට , පසු කරන නගරවල නම් ලීවෝය. රාහුල හාමුදුරුවෝ දින පොතේ ගමන් විස්තරය සටහන් කළහ.
පේරාදෙණිය මල් වත්තේ මල් වර්ග වලට වඩා එක පෙළට සිටුවා තිබූ පොල් වැනි තාල වර්ගයේ ගස්, ඉහළ සිට පහලට විහිදුනු විශාල අතු සහිත දැවැන්ත ගස් අප සිත් ගත්තේය.
දළදා මාළිගාවේදී එහි ඉතිහාසය කියා දෙන්නට රාහුල හාමුදුරුවන් වෙහෙසක් ගත්තද, අප වඩාත් ආසා කළේ පොකුණේ වූ ඉබ්බන්ට හා මාළුන්ට පොරි දැමීමටය. පොරි ගොට්ටක් සත 5 ක් විය.
අපගේ බස් රතය ඉතා පරණ ජාතියේ, හොම්බ තියෙන , ගැස්සෙන , වලක වැටෙන විට ඊයේ කෑ ඒවාද උගුරට එන ජාතියේ එකකි. ඇතුළට හමා ආ ඉන්ධන ගඳද, බඩවල් කැකෑරිල්ලද නිසා බවලතුන් බොහොමයක් හා කුඩාවුන් , වීදුරු කවුලු වලින් ඔලු ගෙඩි එළියට දමා වමනය කරන්නට විය. ඒ සමඟම මුළු බස් රතයම වමනය ගඳින් පිරෙන්නට විය.
දඹුල්ලත් , අනුරාධපුරයත් අතර පාසල් ගොඩනැගිල්ලක අප රැයක් ගත කළා මට හොඳට මතකය. පාසල් ගුරු නිවසේ සිටි විදුහල්පතිතුමා ඊට අවසරය ලබා දුන් අතර පිටත් වීමට පෙර අවට පිරිසිදු කර යන ලෙස පමණක් ඉල්ලා සිටියේය.
ඉඩ තියෙන හරියක ලිපක් බැඳ , අහල පහලින්ම දර සොයා ගෙන ගිනි අවුළුවා , රෑ කෑමට බතක් , පොල් සම්බෝලයක් හා කරවල බැදුමක් පිලියෙල විය.
මැම්බර මාමා ඇතුළු වැඩිහිටියන් කීප දෙනෙක් කසු කුසු ගාමින් යමක් සෙවූහ.
කට හැකරයෙකු වූ විදානෙ මාමා කී ” මෙහේ බල්ලන්ට ගහන ඒව නං හොයන්ට බැරි වෙයි මේ වෙලාවෙ වත්තට ගහන එවුවවත් බලමු” යන්නේ තේරුම අපට වැටහුනේම නැත.
බල්ලන්ට ගහන්නේ ” ගල්” ය. වත්තට ගහන්නේ “කටුකම්බි” හෙවත් කසිප්පුය.
බොහෝවිට මෙම වන්දනා ගමන් යොදා ගන්නේ පාසල් නිවාඩුවටය.
නිවාඩුව නිමවී පාසල පටන් ගත් පසු , මා ගිය චාරිකාවක් මැයෙන් රචනාවක් ලිවීමට හැම ළමයෙකුටම සිදුවිය.
දැන් අය යන්නේ වන්දනා ගමන් නොව විනෝද ගමන්ය. සති දෙකකට පමන පෙර හෝටල් වලට හෝ රෙස්ට් හවුස් වලට කතා කොට කාමර වෙන් කරගන්නා දැන් හැදෙන අයට ගමනට අත්‍යවශ්‍යම දේ වන්නේ බෝතලේය.
කුණුහරුප සිංදු කියමින් කෑකොස්සන් ගහමින් , සුරන්ගනීට මාළු ගෙනාවා වැනි අරුත්සුන් ගී ගයමින් යන මෙවන් ගමන් වලට වඩා අප ඒ කාලයේ ගිය ගමන් බිමන් කෙතරම් අව්‍යාජදැයි දැන් සිතේ.
තාත්තී…….
ඇයි බබෝ……?
මිලියනයක් කියන්නෙ කීයද ?..
??????????
අර ටී වී නිවුස් කියන ඇන්ටි
නිතරම කියන්නෙ තුන් මිලියන කියල
ආ… මිලියනය කියන්නෙ ලොකු ඉලක්කමක්
ගොඩාක් ලොකු ??????
සීයක් ?
නෑ… ඊටත් ලොකු….
එහෙනං දෙක සීයක් ?
නෑ ඊටත් ලොකුයි..
බබාට ඒක ඉගෙන ගන්න පුළුවන්
ඉස්කෝලෙ යනකොට..
තාත්ති දන්නවද ?..
ඔව්…
තාත්ති ෂෝක්..
තාත්තිගෙ අත් දෙක ලොකුයි.
තාත්තිත් ලොකුයි..
තාත්තිට පුළුවන්ද අහස අල්ලන්න ?
තාත්තිට පුළුවන්..
තාත්ති වහලෙටත් නගිනව..
අම්මී….තාත්තී… අද ටීන ගෙ බර්ත්ඩේ එක
අපි එනකොට රෑ වෙයි…
කීය විතර ? රෑ 12.00 විතර ..?
nooooooo…. little bit more….
ඇහැරගෙන ඉන්න එපා
අපි එනකං
we are not babies anymore..
bye අම්මී….
bye තාත්තී…
old couple …..have fun….
මාගෙ සැමරුම් පොතේ
රෝස පිටුවක් පුරා
පුංචි නිල්පාට බෝල අකුරෙන්
ආදරය දෙවෙනි වන්නේ
නිවනට පමණකැයි
ඇය ලියා තිබුනා
තාම මතකයි
නිවන යනු තමන් දැකීමයි
ආදරය යනු වෙනෙකෙක් දැකීමයි
( එවන් දුටු අය වෙත්ද ලෝ තුල ?)
පෙර සැඳෑවක ඔබේ අතගෙන
උයන් කොනෙක , ගං තෙරක හිඳ
ආදරය, නිවනට ද ඉහළයි
මා කීවා මටද මතකයි
ආදරය යනු ….
චුයිංගම් එකක් මෙනි
තත්පර ගාණකට පමණක්
රසය දනවන
අනතුරුව
නීරස කොහොල්ලෑ ගුලියක්
පමණක් ඉතිරිවන
එහෙත් දා ගෙන හපන .